තාරකා විද්‍යාව ගැන කතා කරද්දී ඊට ඈඳී ඇති ආසන්නම වචනය තමයි දුරේක්ෂය කියල කියන්නේ. තාරකා විද්‍යාවේ ගමන්මග වෙනස් කරපු දුරේක්ෂයක් තමයි හබල් කියලා කියන්නේ. හබල් දුරේක්ෂයෙන් පස්සේ යළිත් තරකා විද්‍යාවේ නවමු මාවතක් එළි කරන්නට හැකිවන, සහසක් බලාපොරොත්තු සමගින් 2021 වර්ෂයේ නොවැම්බර් මාසේ 21 වෙනිදා අභ්‍යවකාශ ගත කරන්නට සියලු කටයුතු යොදා ඇති “ජේම්ස් වෙබ් දුරේක්ෂය” ගැනයි අද අපි කතා කරන්නේ.

“ජේම්ස් වෙබ් දුරේක්ෂය” ඉංජිනේරු තාක්ෂණය විශ්මය ලොවට විදහා පාන අද්විතීය නිර්මාණයක්. මේක ගවේෂණ බලාගාරයක් කියලා කිව්වොත් තමයි වඩාත්ම සාධාරණයක් ඉෂ්ට වෙන වචනය. මෙතෙක් ඉදි කරලා තියෙන විශාලතම, වඩාත්ම සංකීර්ණ හා අභියෝගාත්මක අභ්‍යවකාශ දුරේක්ෂය මෙය වනවා. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හරහා සිදු කරනු ලබන අධ්‍යයනයන්, විශ්වය පිළිබඳව අපගේ අවබෝධය වෙනස් කරනවා ඇති .
තාරකා විද්‍යාඥයන් දැනට විශ්වාස කරන්නේ මහා පිපිරුමෙන් නැත්නම් Big Bang එකෙන් පස්සෙ පළමු මන්දාකිණි ඇති වුණා කියලා. “ජේම්ස් වෙබ් දුරේක්ෂය” එක්ක තාරකා විද්‍යාඥයෝ උත්සාහ කරනවා ඒ පළමු මන්දාකිණි සමූහය ගවේෂණය කරන්න. හබල් අභ්යාවකාශ දුරේක්ෂය ප්‍රාථමික දර්පණය ප්‍රමාණය වගේ හය ගුණයකට වැඩි විශාලත්වයක් සහිත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණය තමයි මෙතෙක් අභ්‍යවකාශ ගතකල විශාලතම ප්‍රාථමික දර්පණය සහිත දුරේක්ෂය
සෞරග්‍රහ මන්ඩලයේ සීතල අධිකම ග්‍රහයා ප්ලූටෝ. මේ ප්ලූටෝ මතුපිට තියෙන සීතලටත් වඩා සිසිල් උෂ්ණත්වයකදී ක්‍රියාකරන අධෝරක්ත උපකරණ සහ අධිතාක්ෂණික කැමරා වලින් මේ james webb සමන්විත වෙනවා. මෙතෙක් අභ්‍යවකාශගත කරන ලද විශාලතම sunshield එක වෙන ස්ථර 5කින් සමන්විත ටෙනිස් පිටියක ප්‍රමාණයේ sunshield එකකින් තමයි ප්ලූටෝට වඩා සීතල උෂ්ණත්වයක් හදාගන්නෙ. එය හිරුගෙන් සහ සඳෙන් ජේම්ස් වෙබ් ආරක්ෂා කරනවා.
විශ්වයේ වඩාත් දුරස්ථ මන්දාකිණි වලින් කෘතිම ආලෝකය සොයා ගන්න පුළුවන් පළමු අභ්‍යවකාශ දුරේක්ෂය ජේම්ස් වෙබ්. ඒ විතරක් නෙමෙයි විශ්වය පිළිබඳ මූලික ප්‍රශ්න කිහිපයක් විසදීම සඳහා ජේම්ස් වෙබ් දුරේක්ෂය තාරකා විද්‍යාඥයින් විසින් ආධාර කරගන්නවා.
ඒ තමයි,
- පළමු මන්දාකිණි බිහි වී පරිණාමය වූයේ කෙසේද?
- වෙනත් ලෝකවල ජීවයේ හෝඩුවාවන් තිබේද?
- ජීවය පවතින්නේ / පැවතුනේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පමණද?

මෙම දුරේක්ෂය අභ්‍යවකාශයට දියත් කිරීමත් ඉතාමත් විශ්මය දනවන කාර්යයක්. සම්පූර්ණ අභ්‍යවකාශ දුරේක්ෂයම ගත් කල, මෙතරම් විශාල දුරේක්ෂයක් අභ්‍යවකාශ ගත කළ හැකි රොකට් යානාවක් සොයාගැනීම අසීරු කටයුත්තක් වුණා. තාරකා විද්‍යාඥයෝ ඒ වෙනුවට කළේ මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කොටස් වශයෙන් නමල ඉතා විශාල එක ඉතා කුඩා එකක් බවට පත් කරනවා හරියට ඔරිගාමී එකක් වගේ. ඊට පස්සේ මේක අන්තර්ගත කරනවා යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ මීටර් 5 ක විශ්කම්භයක් සහිත ariane 5 (ඇරියන් 5) කියන රොකට් එකට.
රොකට් එක දියත් කිරීමෙන් පස්සේ අභ්‍යවකාශයේදී james webb දුරේක්ෂය පෘථිවියේ ඉඳලා දුරස්ථ දුරස්ථපාලකයක් මගින යළිත් සම්පූර්ණ, ඉතා විශාල දුරේක්ෂය මුල් පිහිටීමට ගේනව. මේ සම්පූර්ණ කටයුත්තට, දියත් කිරීමෙන් ඉඳලා සති තුනක කාලයක් ආසන වශයෙන් වැය වෙනවා. මෙහි අඩංගු ෂඩාස්‍රාකාර රන් දර්පන, ඊට පස්සේ ඇති මෝටර මගින් එකිනෙක පෙළගස්වලා ඉතා විශාල පරිපූර්ණ රන් දර්පණයක් බවට පත් කරනවා. අවසානයේ දී සියළුම උපකරණ නියමිත උෂ්ණත්ව වලට පැමිණියාට පස්සේ විශ්වය ගවේෂණය ආරම්භ කරනවා.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කක්ශගත කිරීම, මින් පෙර කිසිදු දිනෙක සිදු නොවුණු තාක්ෂණික අභියෝගයක්. මේ කර්තව්‍ය සාර්ථක කර ගන්නට එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපය පුරා දහස් ගණනකගේ උත්සාහයන් සහ දක්ෂතාවය ගැබ් වෙලා තියෙනවා. විශ්වය ගවේෂණයේ අභියෝගාත්මක පරිච්ඡේදයක් පෙරළන්නට කක්ෂ ගත වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය තමන්ගේ පළමු රාජකාරියට වාර්තා කරන තුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.
Source :
NASA Goddard : An Introduction to the James Webb Space Telescope Mission
Montana 406 : History of the Telescope
Celestron : Introducing StarSense Explorer DX


