Table of Contents
තරු පිරුණු අහස, අපට අසංඛ්‍යාත ග්‍රහ පද්ධති ප්‍රමාණයක් පෙන්වන අතර, අපගේ සූර්යයා ඉන් එකක කේන්ද්‍රය පමණි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් සියයකට වැඩි ප්‍රමාණයක් මෙන්ම ග්‍රහලෝක 8ක්ද ඇතුළත් වෙනවා පමණක් නොව, බොහෝ විට වල්ගාතරු මිලියන ගණනකින්ද එය සමන්විත වනවා.
අද තරු අහසින් වීඩියෝව වෙන්වන්නේ, ඒ වගේ වල්ගතරු අතරින්, ඉතා දීප්තියක් ගෙන දුන් එක වල්ගා තරුවක් පිළිබඳව. ඒ තමයි වර්ෂ 1843 දී පෘථිවියට දිස්වුනු මහා වල්ගා තරුව.

අපි කලින් කිව්ව වගේ වල්ගාතරු මිලියන ගණනකින් අපේ සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වෙනවා. නමුත් අපට මෙතනදි ප්‍රශ්නයක් එනව, මෙතරම් ප්‍රමාණයක් තිබිය දී, වල්ගා තරුවක් දැකීම ඉතාමත් දුර්ලභ වන්නේ ඇයි කියන එක ගැන.
ඒකට හේතුව තමයි බොහොමයක් වල්ගා තරු දකින්න පුළුවන් වෙන්නේ රාත්‍රියේදී විතරක් වීම. මින් සමහර වල්ගාතරු වල ආලෝකය ඉතා දුර්වල බැවින් ඒවා අවධානයට ලක්වීම සඳහා පෘථිවියට තරමක් සමීප විය යුතු වන අතරම ඒවා සාමාන්‍යයෙන් කෙටි කාළයක් පමණක් අප පෘථිවිය අසලින් ගමන් කරන නිසා එම වල්ගතරු වලින් බොහොමයක් අපට සියසින්/ දැකගැනීමට හැකි වන්නෙ නෑ.
Kreutz path
අපි මීට කලින් ඉදිරිපත් කළා ඔබට මතක ඇති, “මොනවද මේ sun grazing වල්ගා තරු කියන්නේ” කියලා වීඩියෝවක්. අපි එහිදී කතා කරනවා ඔබට මතක ඇති kreutz කියලා path එකක් නැත්නම් kreutz මාවත කියල එකක් ගැන. ඒ විඩියෝව ම අපි කියනවා මේ වල්ගතරු සමූහයේ සමහර සාමාජිකයන්ට, වාර්තාගත ඉතිහාසයේ, දීප්තිමත්ම සහ දර්ශනියම වල්ගතරු අතර අති විශාල විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා කියලත්. අද කතා කරන මේ 1843 මහා වල්ගාතරුවත්, මෙන්න මේ ක්‍රියුට්ස් මාවතේ දීප්තිමත්ම වල්ගාතරු වලින් එකක්. ක්‍රියුට්ස් මාවතේ වල්ගාතරු ගැන අපි වෙනත් වීඩියෝවකින් කතා කරමු.
1843 මහා වල්ගා තරුව අතීතයේ දී හැඳින්වුනේ 1843 1 කියන නමින්. වර්තමානයේ දී මේක හඳුන්වන්නේ C/1843 D1 කියන නමින්. මේ වල්ගා තරුව 1843 මාර්තු මාසයේ දී ඉතා දීප්තිමත්ව අහසේ දර්ශනය වූ නිසා එය මහා මාර්තු වල්ගාතරුව ලෙසද හැඳින්වෙනවා. වර්ෂ 1843 පෙබරවාරි 5 වැනිදා සොයා ගන්නා ලද මේ වල්ගාතරුව වර්ෂ 1106දි පමණ දිස්වූ x/1106 C1 ලෙස හැඳින් වූ මව් වල්ගතරුවෙන් වෙන්වූ kreutz පවුලේ ප්‍රබලතම සාමාජිකයෙක් කියලා මේ වන විට සොයාගෙන තියෙනවා.

1843 පෙබරවාරි මස මුලදී ප්‍රථම වරට නිරීක්ෂණය කරන ලද එය 1843 පෙබරවාරි 27 වන දින, කිලෝමීටර් 830,000 ට අඩු, ඇදහිය නොහැකි තරම් දුරකට සූර්යයාට සමීපව වුනා. මෙම අවස්ථාවේ දී එය පෘතුවියේ සිට හිරුගෙන් අංශකයක් පමණ ඈතින් දිවා කාලයේ පවා නිරීක්ෂණය වුනා. එය 1843 මාර්තු 6 වන දින පෘථිවියට සමීපව ගමන් කළ අතර පසු දින එහි විශාලතම දීප්තියට පත් වුනා. එහි උච්චතම අවස්ථාවෙහිදී එය දක්ෂිණ අර්ධගෝලයේ සිට හොඳින් දැකගත හැකි වුනා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ . එය අවසන් වරට නිරීක්ෂණය කර තිබුණේ 1843 අප්‍රේල් 19 වැනිදාය. ඒ වන විට මෙම වල්ගා තරුව වෙනත් දන්නා ඕනෑම වස්තුවකට වඩා සූර්යයාට සමීපව ගමන් කර තිබුණා.
යුරෝපයේ සඟරා වල වාර්තා වලට අනුව, මෙම වල්ගා තරුව මාර්තු 5 වන දින ඇතන්ස්හි දර්ශනය වූ අතර දින කිහිපයකට පසු මැඩ්රිඩ් හි දක්නට ලැබුණා. මාර්තු 12 වන දින නයිස් හි දක්නට ලැබුණා, දින කිහිපයක වළාකුළු පිරි කාලගුණයෙන් පසු මාර්තු 14 වන දින Auxonne (ඔක්සොන්)හිදී නිරීක්ෂණය කරන කලා. මාර්තු 17 වැනි දින වියානා, මියුනිච්, පැරිස්, ලන්ඩන් යනාදී ප්‍රදේශවලින්ද, 19 වැනි දින බර්ලිනයේ දීද නිරීක්ෂණය කරනනු ලැබුවා.

මෙය වල්ගා තරුවේ සූර්යයාට ආසන්නම අවස්ථාව නැතිනම් perihelion එක වාර්තාවෙන්නේ කිලෝමීටර 830,000ක් විදිහට. ඒ වර්ෂ 1843 පෙබරවාරි 27 වෙනිදා. මේ මහා වල්ගා තරුව සූර්යයාට ආසන්නතම අවස්ථාවේදී සහ ඉන් පසුව අතිශයින් දිගු වලිගයක් දක්වා වර්ධනය වුනා. තාරකා විද්‍යාත්මක ඒකක දෙකකට වඩා, ඒ කියන්නෙ ආසන්න වදයෙන් කිලෝමීටර් මිලියන 300කට වඩා දිග එය මේ දක්වා දර්ශනය වූ දිගම වල්ගා තරුවද වුනා. 1996 දී සිදු කරන ලද මිනුම් වලින් පෙන්නුම් කළේ 1843 වල්ගා තරුව 1996 වර්ශයේදී දිස් වූ හයිකුටේකේ වල්ගාතරුවේ වලිගය මෙන් දෙගුණයක් පමණ දිගු බවයි. 1843 වල්ගාතරුව පිළිබඳ තාරකා විද්‍යාඥ චාල්ස් පියසි ස්මිත් විසින් නිර්මාණය කරන ලද චිත්‍රයක් එරට ජාතික සමුද්‍ර කෞතුකාගාරයේ තිබෙනවා.
දීප්තිය වැඩි වීම
පෙබරවාරී 27 සහ 28 යන දිනවල වල්ගා තරුව දිවා ආලෝකයේ දී පවා ලොව පුරා පුළුල් ලෙස නිරීක්ෂණය කරන ලද අතර එය සූර්යයාගේ සිට අංශක කිහිපයක් දුරින් දීප්තිමත් වස්තුවක් ලෙස බොහොම වාර්තාවල විස්තර කරන ලද අතර එය සිකුරු මෙන් දීප්තිමත් වූ අතර ඇතැම් අවස්ථා වල අඩ සඳක් මෙන් දීප්තිමත් වුනා. මේ වන විටද එය අංශක 2 සිට 3 දක්වා දිග වලිගයක් පෙන්නුම් කලා. පසුව මෙම දීප්තිමත් සෘජු වලිගය අංශක 35 සිට 45 දක්වා මිනුම් කරන ලද අතර, ඇතැම් වාර්තා වලට අනුව මුළු මාසය පුරාවට අංශක 65 ක් තරම් විශාල වල්ග කොටසක් මේ මහා වල්ගතරුව සතුව තිබුණා.
මාර්තු මස ආරම්භයෙන් ටික කලකට පසු එය සවස් වන විට, සවස අහසට මතු වීමට පටන් ගත් අතර මාර්තු 6 වන දින සහ ඉන් පසුව අභ්‍යවකාශ ඒකක 0.84 නැත්නම් කිලෝමීටර මිලියන 120ක් තරම් පෘථිවියට ආසන්නව ගමන් කරන විට එහි දීප්තිය වේගයෙන් වැඩි වුනා. එය ප්‍රථම වරට දිස්වන විට දීප්තියේ විශාලත්වය මැග්නිටියුඩ් ඒකක 1ක් වැනි විශාලත්වයකින් යුත් දීප්තිමත් වස්තුවක් වූ අතර, එය සූර්යයාට ආසන්නම අවස්ථාව පසුකොට යන විට පවා එහි දීප්තිය හොඳින් පවත්වා ගෙන මාර්තු මාසය පුරාම කැපී පෙනෙන, පියවි ඇසින් පෙනෙන වස්තුවක් වුනා.
නොපෙනී යාම
මාර්තු අගදී, වල්ගා තරුව ද, හිරු බැස, පැය තුනහමාරකට පමණ පසු බැස ගියා. හිරු බැස යෑමෙන් පසු ක්ෂිතිජයට ඉහළින් ගත කළ මෙම වල්ගතරුවේ දීප්ති අප්‍රේල් මාසයේදී කෙතරම් අඩු වීද යත්, අප්‍රේල් මස අවසානයේදී එය හිරු බැස යෑමෙන් පැයකට පමණ පසු වල්ගතරුවෙන් 80%ක් පමණ බැස ගිය අතර නිරන්තරයෙන් අඩු වන දීප්තිය සහ ප්‍රමාණය සමඟ එහි වලිගය පියවි ඇසට නොපෙනී ගියා.
පෙබරවාරි 27 වන දින වල්ගා තරුව සූර්යයා සිට පෘථිවියට ඇති දුරින් 1/5000ක් තරම් ඇතුළත, සූර්යයා අසල සිටි නමුත් එය කෙතරම් වේගයෙන් ගමන් කළාද කියනවනම්, එමඟින් සූර්යයාගේ බලවත් ගුරුත්වාකර්ෂණ බලයෙන් බේරීමට සහ භයානක කොටස් හරහා යාමට හැකි වූ බව Arago නම් තාරකා විද්‍යාඥයා ප්‍රකාශ කරනවා. සූර්යයා ආසන්නයේදී එහි වේගය තත්පරයට කිලෝමීටර 200 ක් පමණ වූ අතර එම අගය පෘථිවිය චලනය වන වේගයට වඩා හත් ගුණයක් පමණ වේගවත් වුනා.
Source :