බුධ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය මන්ඩලය පළවෙනිම ග්‍රහයා. බුධට ඒ නම හම්බවෙලා තියෙන්නෙ රෝම දෙවිවරුන්ගෙ පණිවිඩකරුවාට කියන නමින්. ඒකට හේතුව තමයි අනෙක් ග්‍රහලෝක හතට ම කලින් බුධ සුර්යා වටේ ගමන් කිරීම.
මේක තමයි සෞරග්‍රහමණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය. දැනට ගණනය කරල තියන දත්ත අනුව බුධගෙ අරය සැතපුම් තුන්දාහකට නැත්නම් කිලෝමීටර් වලින් නම් 4800 කට වඩා පොඩ්ඩක් වැඩියි. ප්‍රමාණාත්මකව ගත්තොත් මේ අගය උතුරු ඇමරිකා අර්ධද්වීපයට මදක් වැඩි ප්‍රමාණයක්. බුධත් පෘථිවිය වගේම හරය, ආවරණය සහ පෘෂ්ඨය කියන ප්‍රධාන ස්ථර තුනෙන් සමන්විත ග්‍රහලෝකයක්. ඒත් පෘථිවියේ වගේ චලන වෙන භූ තලයන් බුධගේ නැහැ. ඒ වගේම පෘථිවියේ හරයට වඩා බුධගේ හරය ඉතා විශාල අතර, එය බුධගේ අරය මෙන් 85% ක් පමණ ඉතා විශාල අගයක් ගනු ලබනවා. පෘථිවියේ නම් එම අගය පෘථිවියේ අරය මෙන් 55% ක් පමණ ටිකක් අඩු අගයක් තමයි ගන්නේ. බුධගේ මේ යකඩ හරයේ ප්‍රමාණය බුධගේ සමස්ත ප්‍රමාණයට ලොකු බලපෑමක් ඇති කරනවා. සරලවම කිව්වොත් මේ යකඩ හරයේ විශාලත්වය නිසා පසුගිය වසර බිලියන 4.5 පුරාවට බුධගේ අරය සැතපුම් හතරක් පමණ අඩු වෙලා තියෙනව .

සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න මේ ඇකිලෙන ග්‍රහයා තමයි සූර්යයාට ලඟින්ම ඉන්නෙ. ආසන්න වශයෙන් සැතපුම් මිලියන 36 ක සාමාන්‍ය අගයකින් සූර්යයා වටා පරිභ්‍රමණය වෙන බුධට මෙතරම් හිරුට සමීපව පිහිටීම නිසා වායුගෝලයක් නැහැ. ඇත්තේ බාහිර ගෝලයක් පමණයි. බුධගේ බාහිර ගෝලය ඔක්සිජන්, සෝඩියම්, හයිඩ්‍රජන්, හීලියම් සහ පොටෑසියම් වලින් නිර්මාණය වී තිබෙන අතර මේ සියල්ල සූර්ය සුළඟට ගසාගෙන යයි. සූර්යයාට සමීපව තිබීම සහ වායුගෝලයක් නොමැති වීම නිසා දිවා කාලයේ දී බුධගේ උෂ්ණත්වය පැරන්හයිට් අංශක 800 පමණ වනවා. රාත්‍රියේදී උෂ්ණත්වය පැරන්හයිට් අංශක – 290 ක් පමණ වනතෙක් පහල වැටෙනවා.
කොහොම වුණත්, ඉරෙන් බුධ මත කරන බලපෑම නිසා බුධ ග්‍රහයාගේ කක්ෂය පරිපූර්ණ කක්ෂයක් නම් නෙවෙයි. එය ඉර වටා යන ගමනේදී ඉරට සැතපුම් මිලියන 29 ක් ආසන්නයට හා සැතපුම් මිලියන 43 ක් තරම් ඈතටත් ගමන් කරනවා. ඉර වටා යන ගමන දින 88කින් සම්පූර්ණ කරන බුධ පැයට සැතපුම් ලක්ෂයක පමණ වේගයෙන් ගමන් කරනවා.
ඉර ආසන්නයේම තිබීම සහ ඉතා කුඩා ග්‍රහලෝකයක් වීම නිසා පෘථිවියේ සිට බුධ නිරීක්ෂණය කිරීම තරමක් අපහසුයි. මේ දක්වා බුධ වෙත ගමන් කරලා තියෙන්නේ නාසා ආයතනයේ මැරිනර් 10 සහ මැසෙන්ජර් යන අභ්‍යවකාශ යානා 2 පමණයි. අද අපි දන්නෙ ඒ යානාවලින් එවපු දත්තවලින් විශ්ලේෂණ කරපු තොරතුරු පමණයි . නුදුරු අනාගතයේ දී බුධ වෙත යන එවන් යානා වලින් අපට බුධ ගැන තවත් තොරතුරු දැනගත හැකි වේවි.
SOURCES
NASA Science: Mercury
NASA Messenger Mission to Mercury
ESA BepiColombo Mission to Mercury
IAU: Categories for Naming Features on Planets and Satellites
National Geographic
Astrum